දරුවන්ට බලශක්ති දැනුම

කණිෂ්ට පාසැල් වල දරුවන්ට බල ශක්තිය ගැන ඉගැන්විය යුතු හේතුව.

ඇටුවම් බසින ලද දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් මෙන්ම, කොත්තුවක් කමින් ඉන්දියන් ටෙලියක් බලා නින්දට යන ඒක හේතුක ජීවීන්ට බල ශක්තිය ගැන ඉගැන්වීම, හරකුන්ට සහ එළ දෙනුන්ට අවකලනය කියා දෙනවාක් මෙනි.

ඒ අවාසනාවන්ත ජීවීන් අමතක කර ජීවිතය දෙස නැවුම් අයුරෙන් බැලිය හැකි, ප්‍රභාශ්වර මනසක් ඇති දරුවන්ගේ මනසේ ශක්තිය මොට වන්නට ප්‍රථමයෙන් බල ශක්ති ප්‍රගමනය ගැන වහාම ක්‍රියාත්මක වන සේ කියා දීම කල යුත්තේ, අඩුම ගානේ උන්වත් ලෝකය විනාශ වීම දශක කීපයකින් වත් කල් දමන්නේය යන උපකල්පනයෙනි. මක්නිසාදයත්, උන්ගේ වැඩිහිටියන් ලෝකය ආරක්ෂා කර නොගන්නා හෙයිණි.

ලංකාවේ සිදු නොවුවද ප්‍රගතිශීලී රටවල් වල මේ කාර්යය කෙරේ. ඒ ඉගැන්වීමේ කලාව නොදනී නම්, කුඩා දරුවන්ට ඉගැන්වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. විශේෂයෙන් දුටු පමණින් පෙනෙන නීරස විෂයයක් ඉගැන්වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. [මේ ගැන මා පුද්ගලිකවම දන්නේ උසස් පෙළ විද්‍යා සහ ගණිත ගුරුවරයෙක් සේ කෙටි කලක් ඉගැන්වූ හෙයිණි. සහන කාලයන්හී කුඩා පන්තිවල වැඩ බැලීමේදී අන්තිම අසාර්ථක ගුරුවරයෙක් වීමි. එහෙත් පුහුණු ගුරු භවතුන් කුඩා දරුවන්ගේ අවධානය දිනා ගැනීම දැකීමට ප්‍රිය දසුනක් විය. ]

දරුවාට ඉගැන්වීම කල යුතු නැත. එහෙත් ඔහුගේ හෝ ඇයගේ නැවුම් අදහස් ඉස්මතු වන ආකාරයෙන් ගුරු භවතුන් ක්‍රියා කල යුතුය. වෙනත් ආකාරයකින් කිවහොත් දරුවාට ගුරුවරයෙක් සේ හැසිරීමට දිය යුතුය. ඒ දරුවා විමර්ශනයෙන් යුතුව ලොව දෙස බැලීමට ඉගෙන ගන්නේ එලෙසිනි.

වසර බිලියන 4.56 කට පෙර ඇති වූ ලෝකය ගැන මෙන්ම, ෆොසිල ඉන්ධන ලොවට ඇති වූ කාලය ගැන සහ එහි අහිතකර ප්‍රතිඵල කණිෂ්ට පන්තියක දරුවෙක්ට කියා දීමට ඔබට හැකිද ? මට නම් නොහැක.

එහෙත් සමහරවිට ෆොසිල ඉන්ධන හේතුවෙන් ලෝකය වෙනස් වීම ගැන ඔවුන්ට යම් අදහසක් දෙන්නට හැකිවේ යයි නම් සිතේ. දශක කීපයකට පෙර ජල උල්පත් සහ කැලෑ නැතිවී ගිය ආකාරය, වෙල් ඇළ දොළ වල සිටි මාළු වර්ග වඳ වීම වැනි දෑ කුඩා දරුවාට ග්‍රහණය කල හැකි දේවල් වේ. මේවා පාරිසරික වෙනස්වීම පෙන්වීමට සරළ වුවද, හොඳ සාක්කි වේ.

කාබන් පාදය යන්න කියා දීමද එතරම් අපහසුවක් නැත. දිනපතා පාසැලට එන ආකාරය, නිවසේ සහ පාසැලේ ඔවුන් භාවිතා කරන විදුළි උපකරණ වලින් නික්මෙන රස්නය, දිනපතා කන බොන දෑ නිෂ්පාදනය කරන්නට අවශ්‍ය ශක්තිය … මේ මාතෘකා ඔවුන්ට කියා දීම පහසුය. එහිදී ඔවුන්ගෙන් ඔබ; “එක ළමයෙක්ට ජීවත් වන්නට කොපමණ එළවළු මාළු අවශ්‍යද?… “පන්තියේ සිටින සියළු ළමයි, එක නිවසකට ආවොත්, ඒ නිවසේ ඇති කෑම ප්‍රමාණවත් වේද ?…මේ ආකාරයේ ප්‍රශ්ණ කුඩා දරුවාගේ සිතට වදී.

වචන සීයකට වඩා එක පින්තූරයක් වටී. ඇමරිකාවේ ඒ අයුරෙන් මෙහෙයවන ලද දරුවන් ඇඳි චිත්‍ර කීපයක් මේ ලිපිය සමඟ ඇත. ඒ පින්තුර සීයකට වඩා කුඩා ක්‍රියාකාරකමක් වටී. පාසැලේ වුවද ගස් වැල් හෝ වල් පැළ වුවද ඉවත් කල තැනක මධ්‍යහනයේ උණුසුම දරුවා ග්‍රහණය කරන්නේ කෙසේදැයි බැලීම මේ එක් ක්‍රියා කාරකමක් විය හැක. දේශගුණ විපර්යාසය වචන වලින් කියා දෙනවාට වඩා මේ ආකාරයේ ක්‍රියා කාරකම් වලින් ඔවුන්ටම ඔවුන්ගේම අත්දැකීම් සහ නිරීක්‍ෂණ හරහා අවබෝධ වන්නට ඉඩ දිය යුතුය.

මේ කාලයේ ලොව නන් දෙස ඇතිවන ලැව් ගිණි වල පින්තූර දරුවාට පෙන්විය හැක.

මේ ආකාරයේ උගන්වන ලද දරුවා විනාඩි කීපයකින් සිතන්නේ, ඔහු හෝ ඇය පරිසර විද්‍යාඥයෙක් ලෙසිණි. ඊළඟට ගුරුවරයෙක් වූ ඔබ ඇසිය යුත්තේ, … “ලබන මාසයේ පළ වනදා සිට පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් නිෂ්පාදනය නැති වුවහොත්, ජීවත් වීමට ගන්නා පියවර මොනවාද යන්නය. ඒ කුඩා විද්‍යාඥයන් බොහෝ අදහස් දක්වනු ඇත.

කෙමෙන් ඔවුන්ගේ අවධානය සඳහා සූර්යාලෝකය, භූ ශක්තිය, මුහුදු තරංග වලින් ඇතිවන ශක්තීන්හී විස්තර දැක්වීම කල හැක.

කුඩා දරුවන් දැන් සිටම මේ ආකාරයට සිතන්නට පුරුදු කිරීම ඉතා වටිනා දෙයකි. ලංකාවේ මෙවැනි දේ කෙරෙනවා යයි අසා නැත. ලෝකයේ දේශගුණය විෂම වීම හේතුවෙන් වෙනත් රටවල පාසැල් දරුවන් උද්ගෝෂණ කලද, ලංකාව වැනි පසුගාමී රටක එවැනි දෙයක් සිදු නොවන්නේ, දරුවන්ට පරිසර දූෂණය පිළිබඳ යතාර්ථය ඉගැන්වීමක් නොවන හෙයිණි.

ලිව්වේ – ලලිත් කරුණාරත්න