දේශීය කාර් හරි පාරෙද?

කපිල ද සිල්වා මහතා කුඩා විදුලි මෝටර් රථයක් නිපදවීම වෙනුවෙන් බොහෝ වෙහෙස වෙනවා. එමෙන්ම කප්ලා මෝටර් සමාගමේ නිෂ්පාදිත ගොල්ෆ් රථ ලංකාවේ ආයතනවල භාවිතා වෙනවා. ලංකාවේ විදුලි මෝටර් රථ නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔහුගේ ප්‍රයත්නය සහ කැපවීම අගයකලයුතුයි.

දින කිහිපයකට පෙර මාධ්‍ය වර්තාකරලා තිබුනා කපිල ද සිල්වා මහතාගේ පුවත්පත් සාකච්ඡාවක්.

නමුත් මේ පුවත්පත් සාකච්චාවේදී ඔහු ප්‍රකාශකර තිබුනා ප්‍රශ්නගත කරුණු දෙකක්. එනම් ඔහුගේ නිර්මාණයට රජයේ සහයෝගයක් නැති බවත් එමෙන්ම විදුලි රථ සඳහා ඇති අඩු තීරුබදු ඔහුගේ ව්‍යාපාරයට බාධා ඇතිකරන බවත්. රජයේ සහයෝගය කෙසේ වුවත් තීරුබදු පිළිබඳව කර ඇති ප්‍රකාශය රටේ යහපතට හේතුවෙන්නේ නැහැ.

  • පසු සටහන: මේ වාර්තාව ගැන කපිල ද සිල්වා මහතා පැහැදිලිකිරීමක් කරනවා, එය ලිපියේ අග.

දේශීය නිෂ්පාදන නරකද?

දේශීය නිෂ්පාදන අප ඉතසිතින් අගයනවා. ලංකාවෙන් ජාත්‍යන්තරයට යන්න පියමනින වේගා වෙනුවෙන් ලිපි කිහිපයක්ම වෙන්කළේ ඒ නිසයි. නමුත් දේශීය වීම මත අනෙකුත් සියලු තත්වයන් කිසිසේත් නොසලකා හැරියයුතු නැහැ.

සාර්ථක ආර්ථික සහ සමාජයීය ඉලක්ක කරා යාමේදී අප සැලකියයුතු කරුණු බොහොමයක්. මෝටර් රථයක් නිෂ්පාදනයට එක් පෑන් ඉරක්වත් ඇදීමට පෙරම අප එහි ආර්ථික වටිනාකම, සාර්ථකත්වය පිලිබඳ අවධානය යොමුකළ යුතුයි.

මේ ආර්ථික සාර්ථකත්වයට අදාළ කරුණු අතර පහත දේවල් ප්‍රධාන වෙනවා. නමුත් තව බොහෝ අංශ තියනවා සලකා බැලිය යුතු.

  • ප්‍රමාණවත් දේශීය වෙළඳපොළක් තිබීම.
  • කලාපීය සහ ජාත්‍යන්තර වෙළඳපොල ආකර්ෂණය කිරීමේ හැකියාව.
  • කලාපීයව නිෂ්පාදන යටිතල පහසුකම් සහ තරඟකාරීත්වය. බලශක්ති මිළ, ශ්‍රමය, ප්‍රවාහන ආදී අංශවලින්.
  • අවශ්‍ය අමතර කොටස් දේශීයව නිෂ්පාදනය වීම.
  • දැනට ඇති ගෝලීය, කලාපීය සහ දේශීය නීතිවලට අනුගත වූ පසු නිෂ්පාදන වියදමේ තරඟකාරීත්වය.
  • අනාගත ආරක්‍ෂිත සහ පාලිත ක්‍රමවේදයන්ට අනුගත වීමේ හැකියාව.

එතකොට වේගා?

ප්‍රධාන ප්‍රවාහයට (Mass Market) වාහනයක් නිර්මාණයත් විශේෂිත වෙළඳපොලකට (Niche Market ) නිර්මානයත් සම්පුර්ණයෙන් වෙනස් දෙකක්. වේගා ඉන්නේ මේ පසුව කියපු කොටසේ. ඔවුන්ගේ ඉලක්කය 2022 දී මෝටර් රථ 25 දක්වා නිෂ්පාදනය. ඒ ඉලක්කය හරි.

ලාභය ඕනෑම ව්‍යාපාරයකට පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. රුපියල් ලක්ෂ අටකට දහයකට පමණ විකිනෙන මෝටර් රථයක් නිර්මාණයෙන් ලාභ උපයන අන්දම කප්ලා සමාගම අධ්‍යයනය කර ඇතිවාට සැකයක් නැහැ. නමුත් ඔවුන් ඒ වෙළඳපොල බලාපොරොත්තු වෙන්නේ වෙනත් ආනයන හෝ නිෂ්පාදන වලට බදු / බාධක පැනවීමෙන් නම්, ඒ රටේ ව්‍යාපාරික, සමාජයීය හෝ පාරිසරික අභිවෘද්ධිය සඳහා නොවෙන බවයි සඳහන් කල යුත්තේ.

කප්ලා සහ ආනයන බදු!

කපිල ද සිල්වා මහතා සඳහන් කර තිබුනා විදුලි රථවල බදු අඩුවීම ඔහුගේ ව්‍යාපාරයට බාධාවක් බව. නමුත් වෙනත් රටවල් සමග සසඳද්දී ලංකාවේ විදුලි රථවල බදු වැඩියි. ඇත්තෙන්ම බැලුවොත් ලෝකයේ බොහෝ රටවල් ප්‍රදාන (Subsidies ) පවා ලබාදෙනවා විදුලි රථ මිලදී ගන්න.

කිලෝවොට් 55 ප්‍රමාණයේ කුඩා රථයකට දැනටත් රුපියල් 550,000 බදු වශයෙන් ගෙවෙන කොට (MG e ZS ) කිලෝවොට් 150 පමණ වෙන මධ්‍යම ප්‍රමාණයේ විදුලි රථයකට ලක්ෂ 37 පමණ බදු වශයෙන් රජය අයකරනවා. මේ තත්වයේදී ලංකාවේ විදුලි රථවල ආනයන බදු ඉන්ධන රථ වලට වඩා වැඩි වෙනසක් නැහැ.

විදුලි රථවල නිෂ්පාදන වියදම් සමනය කරන්න බොහෝ රටවල බදු සම්පුර්ණයෙන්ම ඉවත්කරලා පමණක් නොවෙයි, රජයෙන් මුදල් ගෙවනවා නිෂ්පාදකයන්ට සහ මිලදීගන්නන්ට විදුලි රථ ප්‍රවර්ධනය උදෙසා.

කප්ලා සමාගමේ ඉලක්කය විය යුත්තේ නීත්‍යානුකුල සහ ආරක්‍ෂිත රථයක් ආර්ථික සාර්ථකත්වය උදෙසා නිපදවීමට අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් ඉල්ලාසිටීම. එමෙන්ම ඒ නිෂ්පාදන දේශීයව සහ ගෝලීයව ඇති මාර්ගස්ථ සහ ධාවන ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුගතවන පරිදි සැලසුම් කිරීම නම් අනිවාර්යයෙන් වියයුතු දෙයක්. නැත්නම් දැනටමත් අතිශයින් අවිධිමත් සහ අනාරක්ෂිත ලංකාවේ ප්‍රවාහනය තවත් අගාධයට යයි.

එහෙම නැතිව අනෙක් නිෂ්පාදනවල වෙළඳපොල අවහිර කර සංවෘත වෙළඳපොළක් නිර්මාණය කලොත් ඒ නිෂ්පාදනයට පමණක් නොවෙයි ඉන් බලාපොරොත්තුවෙන ආර්ථික දායකත්වය පවා රටට නැතිවෙයි. මේ වගේ උදාහරණ අපි පසුගිය දශක දෙක තුල දැක්කා.

එපමණක් නොවෙයි, අපේ රට දැනටමත් මුහුණපා ඇති අවිධිමත් ප්‍රවාහනයේ තර්ජනය තවත් වැඩිවෙයි. අමතක නොකළ යුතුයි අපේ මාර්ගස්ථ මරණ ප්‍රමාණය ලෝකයේ ඉහලම තත්වයේ බව.

සුනීත්‍ය සැරිසැරුමකට…..

ව්‍යාපාර සාර්ථකත්වය කරා යා යුත්තේ ගෝලීය ආර්ථිකයක් සමගයි. තිරසාර ඉලක්ක නොමැති ව්‍යාපාර ඉන් බලාපොරොත්තුවෙන සුනීත්ය සැරිසර සංකල්ප සහ ආර්ථික ඉලක්කවලට ලඟා නොවෙනු ඇති.

වේගා මේ කරුණු හොදින් සපුරාගෙන යනවා, ඔවුන්ගේ විවිධ වූ ව්‍යාපාරික ඉලක්ක සමගින්.

කප්ලා සමාගමත් ඔවුන්ගේ ව්‍යාපාරික සැලසුම් තම ආයතනයේ මෙන්ම රටේ තිරසාර බව වෙනුවෙන් ඉලක්ක කල යුතුයි.

ප්‍රවාහනය රටේ මෙන්ම මුළු ලොවේම පරිසර දුෂණයේ ප්‍රධානතම කොටස්කාරයෙක්. එමෙන්ම විවිධ වූ සව්ක්ය ගැටළු, මාර්ගස්ථ අනතුරු සහ මරණ වලටත් විශාල හේතුවක්.

පරිසර හිතකාමී මෝටර්රථ සහ ප්‍රවාහනය වෙනුවෙන් පෙනීසිටින සහ ක්‍රියාත්මක වේගා සහ කප්ලා ආයතනවල අනාගත සාර්ථකත්වයට සුබපැතුම්.

EV rev පසු සටහන, මුල් ප්‍රකාශනයෙන් පසු.

කපිල ද සිල්වා මහතා සමග සංවාදයකට එළබෙන්න අවස්තාව ලැබුනා, ඉහත සටහනෙන් පසු. එහිදී පැහැදිලිවුනේ පුවත්පත් වාර්තාවෙන් ද සිල්වා මහතාගේ අදහස පිළිඹිබු නොවෙන බව. විදුලි රථ සහ ගොල්ෆ් රථ වෙනස් ආනයන බදු පන්තීන් වලටයි අයත්වෙන්නේ. සිල්වා මහතාගේ ගොල්ෆ් රථ පිලිබඳ කෙරුණු සඳහන් වාර්තාවී ඇත්තේ පොදුවේ. ලංකාවේ විදුලි රථ ප්‍රවර්ධනය සිල්වා මහතාගේත් අභිප්‍රායයි. මේ පිළබඳ විශේෂ ලිපියක් නැවත පලවෙනු ඇති.