ගෙදර ඉඳං වැඩ

ආර්ථිකය හොඳ තත්වෙක නෙමෙයි කොරෝනාවයිරසය එනකොටත්, ආයතනිකව, පුද්ගලිකව බොහෝ දෙනෙකුගේ මෙන්ම රටේත්. යම් සහන මේ වෙනකොට ප්‍රකාශ වෙලා තිබුනත් සහනාධාර වලින් ආර්ථිකය නංවන්න බැහැ.

දැන් කොරේ පිටට මරේ වගේ නිවාඩුත් දීල. මාර්තු විසිතුන්වෙනිදායින් ඇරබෙන සතිය ගෙදර ඉඳන් වැඩකරන සතියක් විදියට නිවේදනය වෙලා. තත්වය ගැන සමහරුන්ට සන්තෝසයි, ගෙදර ඉන්න පුළුවන් නිසා. නමුත් ඒක හරියට වතුර රත්වෙනකන් කකුළුවා නටනවා වගේ. මේ ආර්ථික පසුබෑම සාධාරණ අදායම් ලබන අයට ඉතාමත් නරක විදියට බලපායි ඉදිරියට. රටේ බොහෝ දෙනෙකුට මේ තත්වයේ භයානකකම තේරිලා නැහැ තවම.

ගෝලීයව බැලුවොත් සංචාරක ව්‍යාපාරයේ විතරක් රැකියා මිලියන පනහක් විතර අහිමි වෙයි කියල සඳහන්වෙනවා. ගෝලීය ආර්ථික පාඩුව ඩොලර් ට්‍රිලියන 2.7 ඉක්මවයි, බ්ලුම්බර්ග් ආයතනය කියන විදියට. කොහොම කලත් අපි වගේ නය බරින් මිරිකුණු සහ දුෂණයෙන් පිරුණු රටවලට තමයි මේ පාඩු වැඩිපුරම දැනෙන්නේ. අනෙක සංචාරක ව්‍යාපාරය අපේ ප්‍රධානම අදායම් මාර්ගයක්.

කොරෝනා නිසා හැමෝගෙම ගමන් සීමා කරන්න වෙලා. මේ තත්වය තව මාසයක් වත් අපට බලාපොරොත්තු වෙන්න වෙනවා, අවම වශයෙන්. නමුත් ඒමතින් අපේ වගකීම්, යුතුකම් ඉටුනොකර හිටියොත් ඇතිවෙන ප්‍රශ්න කොරෝනාට එහා වෙයි. මේක අපි අවස්තාවක් කරගත යුතුයි අපේ දයිනික ක්‍රියාපටිපාටි වෙනස්කරගන්න.

ගෙදර ඉඳන් වැඩකිරීම කලාවක්.

පසුගිය අවුරුදු දෙකේ ඉඳලම මේ ලියුම්කරු දුරස්ථ රැකියා (Remote worker / home working ) ක්‍රමය අනුගමනය කළා. මේ ක්‍රමවේදය ඉතිරිකරපු කාලයේ වටිනාකම නම් මිල කල නොහැකියි, ආර්ථිකව විශාල සාර්ථකත්වයක් නොමැති වුනත්. ඒ ලියුම්කරු නිරත අදාළ සුනීත්ය බලශක්ති ක්ෂේත්‍රයේ සහ රටේත් පොදු ප්‍රශ්න නිසා. නමුත් රැකියා ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් තියනවා ගෙදර ඉඳන් ඇති සාර්ථකව නියැලිය හැකි.

කොරෝනා කාලෙට විතරක් නෙමෙයි ඉන් පස්සේ වුනත් මේ ක්‍රමය රටේ ආර්ථිකය ඉහලනන්වීමට, ප්‍රවාහන ගැටලු, තදබදය සහ අනතුරු අඩුවීමට, බලශක්ති හානිය අවමකිරීමට, කාර්යක්ෂමතාව වැඩිවීමට හේතුවෙයි.

දුරස්ථ රැකියා ක්‍රමය

ලොව පුරාම සාර්ථකයි බොහෝ රැකියා අංශවලින්. අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියා වුනත් ඉතා සාර්ථකව මේ අනුව කලහැකියි. මේ සඳහා ස්වයං පාලනය, ස්වයන්විශ්වාසය සහ සේව්‍ය සේවක සම්බන්දතා අතිශයින් වැදගත්වෙනවා. සමහර වෘත්තීන් නම් කිසිම බාධාවක් නැතිව දැනටමත් ලංකාවේ කරගනයනවා. මේ ඔබටත් අනුගමනය කළහැකි ක්‍රම සහ හැඩගැහෙන්නේ කොහොමද යන්න, පොදු ලාංකීය දැක්මකින්.

  • සේව්‍ය සේවක විවෘත සාකච්චාවක් අවශ්‍යයි. වගකීම් සහ වාර්තා කිරීම් කෙසේ විය යුතුද යන්න. එමෙන්ම KPI නියම ලෙසින්ම ස්ථාපිත විය යුතුයි. එහෙම නොවුනත් දැන් තියන බොහෝ රැකියා වලට ඉන්න තැන වැදගත් නැහැ, ටාගට් එක විතරයි.
  • ඔබ ප්‍රධානියා හෝ මධ්‍ය කළමනාකරණයේ වුවත් වාර්තා කිරීම් සහ වාර්තා ලබාගැනීම් කියම කාල සටහනකට අනුව වියයුතුයි. දයිනික කාලසටහන නිතර යාවත්කාලීන විය යුතුයි.
  • ඔබේ සියලු ලිපි ලේඛන ක්ලවුඩ් ගබඩාවක (Google drive etc.) තියාගන්න. එතකොට අතේ තියන ඕනෑම ඩිවයිස් එකකින් ඔබේ වැඩ වලට යොමුවෙන්න පුළුවන්. හොඳ අන්තර්ජාල පහසුකම් සහ මාධ්‍ය (Skype , Chats , e Mail ආදිය ) තිබිය යුතුයි.
  • වෙනදා විදියටම දත් මැදීමේ ඉඳන් වෙලාවටම කරලා, ඇඳුම් පවා ඇඳගන්න මුලදී. මුලදී එහෙම වුනාට මේ ලේඛකයා නම් දැන් වැඩ වැඩිපුර සරමෙන්. ලංකාවේ ඇතැම් ව්‍යාපාර හිමිකරුවන් පවා එහෙමයි. ඇඳුමෙන් වුනත් සැහැල්ලු වෙන්න එපා මුලදී, කාන්තාවන් නම් බ්‍රා එකත් දාගන්න.
  • වැඩ කරන්න හිතෙන තැනක් හදාගන්න. කාමරයක් වෙන්කරගන්න පුලුවන්නම් වඩා හොඳයි. දොර වැහුවාම ගෙදර අය දන්නවා ඔබ වැඩ කියල, අනවශ්‍ය වද දෙන එකක් නැහැ. ලේඛකයාට නම් දැන් එහෙම අවශ්‍යම නැහැ.
  • ගෙදර ඉන්නවා කියල සැරින් සැරේට ඕනවට වැඩිය කන්න ලැස්ති වෙන්න එපා. මුල සතිය තුල කෑම පුරුදු හදාගන්න. ලන්ච් එකෙන් පස්සේ ඔෆිස් එකේදී අපි අයිස්ක්‍රීම් කන්නේ නැහැනේ. හැබැයි මම තේ නම් හතර පස් පාරක් විතර බොනවා.
  • කාලසටහන හදාගන්න. ඒවගේම තාක්ෂනය පාවිච්චිකරන්න කාලය කළමනාකරණයට. දුරකථන ඇමතුම් වලට පිලිතුරුදෙද්දී ආසනයෙන් නැගිටලා ඇවිදිමින් කතාකරන්න. මේක හොඳ ව්‍යයාමයකුත් වෙයි.
  • සමාජ මාධ්‍ය කාලය අනිවාර්යයෙන්ම සීමා කරන්න. හැබැයි ඇතැම් රැකියාවලට එය අත්‍යාවශ්‍යයි. එනම් ව්‍යාපාර පවා වෙන්නේ ඒ මත. ඇතැම් අයගේ අපොයින්මන්ට් පවා දැන් ෆේස්බුක් වල. එතකොට වයිෆයි ඕෆ් කරන එක නම් අමාරුවෙයි. නමුත් හිත වෙනපැති වල දුවන එක සහ බාධාවන් (Distraction ) නම් අවම කරගත යුතුයි.
  • ඉහත කිව්වේ ඔබට රාජකාරිමය වශයෙන් හැඩගැහෙන අයුරු. නමුත් අප එලියට ගිහින් කරගන්න තවත් බොහොමයක් වැඩ දැන් අන්තර්ජාලය හරහා කරගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් මුණගැසීම, බෙහෙත් ගැනීම, එදිනෙදා අහාරපාන, අවශ්‍ය දේවල ඉඳන් බෙහෙත් පවා ගෙදරට ගෙන්වාගැනීම. රජයේ ඇතැම් කටයුතු කරගැනීම. සියලුම බැංකු කටයුතු ආදිය.

හිතාගන්න බැරි වාසි!

ඔබට මේ තත්වයට එන්න පුළුවන් නම් නිවස පමණක් නොවෙයි, ඉන්න තැන කොතනද කියන එක අදාළ නැහැ වැඩට. කොටින්ම දොස්තර කෙනෙක් එන්න පැය දෙකක් පරක්කු වුනත් වැඩ පාඩුවෙන්නේ නැහැ පරිගණකය ළඟ තියනවානම්. නාස්ති වෙන්නේ ගමනට ගතවෙන කාලය විතරයි. මේ පිළිවෙත් තිරසාර දිවියේ කොටසක් වීමේ ප්‍රීතිය තවත් බෝනස් එකක්.

අත්හදාබලන්න, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔබේ කාලය, මුදල් ඉතිරිවෙනවා පමණක් නොවෙයි කාර්යක්ෂමතාවය පවා වැඩිකරගන්න පුලුවන්වෙයි. එමෙන්ම නිවාඩු ගන්න ප්‍රමාණයත් අඩුකරගන්න පුලුවන්වෙයි, පව්ද්ගලික කටයුතුවලට සුළු වෙලාවකට යොමුවීමේ පහසුව නිසා.

කොරෝනාවෛරසය වාසියක් කරගන්න, දවසට ගමනට යන පැය දෙකක් ඉතිරිකරනවා කියන්නේ සතියකට ඔබ අවම පැය දහයක් ඉතිරිකරනවා. ඒකියන්නේ අවුරුද්දකට ඔබට මාස දෙකක් වැඩිපුර ලැබෙනවා.

Follow the web-page for updated lifestyle info, also don’t forget to like our FB https://www.facebook.com/evrally/ page.