කොරෝනා එක්ක එන මිත්‍යාව.

වෙස්වලාගත් ආශීර්වාදයක්ලු, සොබාදහම ඇනපු ටොක්කක්ලු කොරෝනා. කොරෝනා පාලනයේදී පවා අපි මුළාවෙලා. තේ බිව්වාම කොරෝනා පාලනය වෙනව, පිරිතෙන් ජල අංශු වෙනස්වෙනවා, සත්තු දැන් නගරවලට ඇවිත්, වායුව පිරිසිදුවෙනවා ආදී වශයෙන් සහ තවත් මෙකී නොකී අන්දමින්.

මිත්‍යාව සමාජයේ යහපැවැත්මට විශාල හානියක්.
තේ බීම, පිරිත වැනි හොඳදේ පවා වැරදි තර්ක නිසා සැකකරන්න බුද්ධිමත් ජනතාව පෙළඹෙනවා. කොතරම් දුරට අපි මිත්‍යාව වැලදගෙනද කියනවනම් නිරෝධායන මධ්‍යස්ථානවලට පවා විරුද්ධවුනා.

මේ ජනප්‍රිය මතවාද වලින් බලාපොරොත්තුවෙන ඇතැම් ප්‍රතිඵල හොඳ දේවල්. නමුත් ඒ ප්‍රතිඵලය ලබාගත යුත්තේ කොරෝනාවයිරසය මතින් නෙමෙයි, එය කළ නොහැකියි.

මේ බහුලව සමාජගතවුණු මිත්‍යාමත කිහිපයක්.

සත්තු නගරවලට ඇවිත්? 

නගර තියෙන්නේ සත්තුන්ට නෙමෙයි, අපි වනජීවී එකේ රාජකාරිය කොරෝනාට දීල. ලෝකය ආපසු හැරවිය යුතුනම් එය කලයුත්තේ නගර වනාන්තර කිරීමෙන් නොවෙයි. කොරෝනාට බොහෝ පෙර ලෝකයේ පරිසර සුරක්ෂිතතාව පිලිබඳ විශාල කතිකාවතක් සහ වැඩපිළිවෙලවල් තිබුණ, තියෙනවා. කොරෝනා තත්වය මත ඒ වැඩපිළිවෙලවල් අඩපන නොවිය යුතුයි, වඩාත් වේගවත් විය යුතුයි.

මුවන්ට පාන් කවන එක පරිසර සංරක්ෂණය නොවේ. කවරයේ පින්තුරේ ඉන්න මුවන් නම් හැමදාම ත්‍රිකුණාමලයේ හිටියා. නමුත් සංසරණය වුනු බොහෝ පින්තුර බොරු.

නගරයේ වායුව පිරිසිදුවෙලා! 

දවස් දෙකයි යන්නේ ට්‍රැෆික් එක එක්ක රිටන් එකත් එක්ක හම්බෙන්න. මේ රටේ වායුගෝලයේ අංශු ප්‍රමාණය වැඩිකරන වාහනවත් හොයාගන්න ක්‍රමයක් නැහැ. දුම් පරීක්ෂණය යල්පැනගිය බොරුවක්. ගෙනාපු කාබන් බද්දත් අහක්කරා. පොදු ප්‍රවාහන ක්‍රම නොකෙරෙන වෙදකමක් වෙලා. අපි කොරෝනා දිහා බලාගෙන ඉන්නවා වායු දුෂණය අඩුවුනා කියල.

ගංගා පිරිසිදුවෙලා. 

කැළණිගඟ දෙපැත්තේ පමණක් කර්මාන්ත 7000කට වැඩියි. පාරිසරික බලපත් තියෙන්නේ බාගයකටත් අඩුවෙන්. අපි අදාළ නීති ක්‍රියාත්මක නොකර කොරෝනා ගුණ වයනවා. මේකෙන් වෙන්නේ ඇත්ත පාරිසරික ප්‍රශ්න වැසීයාමයි. අවම වශයෙන් තිබෙන නීතිවත් මින්පසු ක්‍රියාත්මක කරවීමට අපට සිහිගැන්වීමක් වෙනවානම් හොඳයි.

ඕසෝන් ස්ථරය පිළිසකරවීම!

විද්‍යාව හෝ ඕසෝන් ස්තරය යනු කුමක්ද, මේ වෙනතෙක් ඒ වෙනුවෙන් ලෝකය ලංකාවටත් අදාළ නීති ගෙනල්ලා තියෙන්නේ මොනවද, වෙලා තියෙන්නේ මොනවද කියල මුකුත් නොදැන කරන මුළාවක්. අනෙක මේ බොරු ප්‍රවෘත්ති වලට විද්‍යාත්මක සාධක පවා වැරදි විදියට අමුණලා. ඇටම් ගුරුවරු සහ දේශපාලකයන් පවා මේ වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරයට දායක වුනා.

ගෙවතු වගාවෙන් ආහාර සුරක්ෂිතතාව?

කෘෂි ආර්ථිකය, ගබඩා සහ ලොජිස්ටික් පහසුකම්ද සහිතව සංවර්ධනය නොකර, ගෙවතු වගාව ගැලවිජ්ජාව වෙලා. ගෙවතු වගාව හොඳයි, පැවතිය යුතුයි, ප්‍රවර්ධනය කලයුතුයි. නමුත් කෘෂි ආර්ථිකය ගොඩනැංවීම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයෙන් 90% වියයුතුයි, ගෙවතුවගාව ප්‍රචලිතවෙයි හැකි හැම කෙනා අතරම. ආහාර සුරක්ෂිතතාව ඇතිකරනෙක ගෙවතු වගාවෙන් පමණක් කල නොහැකියි.

ගොවීන් හැමදාම දුප්පත්වෙන එක නවත්වන්න කලයුතු බොහොමයක් තියනවා පෙර සහ පසු අස්වනු තාක්ෂනය යන දෙපැත්තෙන්ම. වැඩි අවධානය දියයුතු පැති අමතක නොකළ යුතුයි.

වන ගහනය වැඩිවෙලා?

ඇත්තටම වෙලාතියෙන්නේ අඩුවීමක් වෙන්න පුළුවන්. සමාජ දුරස්තකරණය කැලෑපාලුවන්ට බලපාන්නේ අඩුවෙන්. අදාළ කලාපවල ජනතාව නිවෙස්වලට වී සිටීම, තොරතුරු නොලැබීම, වන සංරක්ෂණයට ඒවා සැපයීමට නොහැකිවීම සහ එක්රොක්වීමට නොහැකිවීම කැලෑපාලුවන්ට හොඳ අවස්තාවක්.

මුතුරාජවෙල කඩොලාන විනාශකිරීමට එරෙහිව නැගුනු රැල්ල වැනි ධනාත්මක දේවල් අමතක කරවීමට කොරෝනාවයිරසය නිසා ඇතිවුන ආර්ථික ගැටළු වලට ඉඩ නොදිය යුතුයි.

Made In Sri Lanka?

අපට අවශ්‍ය හැමදේම ලංකාවේ නිෂ්පාදනය කරන්න පසුගිය දවස්වල තිබිච්ච රැල්ල වැඩිවුනා කොරෝනා එක්ක. ඒ රැල්ල හොඳයි, නමුත් බොහෝ දේවල් අතාත්විකයි, නැවත සුදු අලි වෙයි මුලික ආර්ථික නිර්ණායක අනුව බැලුවාම.

උදාහරණයක් කඩදාසි කර්මාන්තශාලා. කොරෝනා නිසා තාවකාලිකව ඇතිවුනේ සංවෘත ආර්ථිකයක්. නමුත් ගෝලීය ආර්ථිකයක් තුල අදාළ පරිමාන සහ තත්ත්ව මත නැති නිෂ්පාදන වලට පැවැත්මක් නැහැ.

වෙන්ටිලේටර් වගේ දේවල් නිෂ්පාදනයේදී වුනත් බොහෝ ගැටළු විසදාගතයුතුව තියෙනවා. ඒක මේ ලිපියේ ප්‍රස්තුතය නෙමෙයි, වෙනම ලියල ඇති.

ලංකාවෙ විතරක් නොවෙයි !

ලිව්වේ ලංකාවේ තත්ත්ව කෙටියෙන්, නමුත් ලෝකේ ඇතැම් දියුණු රටවල පවා මේ වගේ දේවල් වුනා. උදාහරණයක් විදියට 5G තරංග නිසා කොරෝනාවයිරස් ඇතිවූබව කියමින් දුරකථන කුළුණු ගිනිතැබීම (අප්‍රියෙල් 3 වන දින, හේතුව තවමත් ස්ථිර නොවුනත්) නමුත් ලංකාවෙත් වැදගත් පුද්ගලයින් ප්‍රකාශකරන අවස්ථා තිබුනා 5G තරංග ශරීරයට අහිතකරයි කියල, ලෝක සව්ක්ය සංවිධානය පවා කියද්දී එයට සාධක නැතිබව.

සොබාදහම වෙනුවන් අනාගතේදී !

මොනවද අපි කලයුතු? මේ කිහිපයක්, තව බොහොමයක් තියනවා. ඉදිරියට එන පාරිසරික සහ සව්ක්යාරක්ෂක නීති තවත් දැඩිකළ යුතුයි. ප්ලාස්ටික් ඵවිතයෙන් ඉවත්වියයුතුයි.

පොසිල ඉන්ධන වලින් නිපදවෙන බලශක්තිය මත යැපීම නවත්වා ජනාධිපතිතුමා දැනටත් ප්‍රකාෂකරලා තියන ඉලක්කය වන 2030 වනවිත් වනවිට සම්පුර්ණ බලශක්ති නිෂ්පාදනයෙන් 80% පුනර්ජනනීය වියයුතුයි.

පොදු ප්‍රවාහනය වෙත යොමුවිය යුතුයි, ඉන්ධන වාහන භාවිතයෙන් ඉවත්වියයුතුයි. එදිනෙදා ගමන් සඳහා පාපැදි වැනි දෑ භාවිතවිය යුතුයි.

අපේ වනාන්තර සහ කඩොලාන අරක්ශාකරගන්න අතරම අනුපාතය වැඩිදියුනුකලයුතුයි. වනසත්ව ගහනය අරක්ශාකලයුතුයි. අන්ගාරිකා අම්ල නිෂ්පාදනය වෙන ගොවිපල සතුන් ගහනය අවම කල යුතුයි.

කෘෂි ආර්ථිකය වෙනුවෙන් රටට සහ රජයට කළහැකි දේ ගැන අදහස් මෙතන තියනවා. https://evrev.lk/2020/03/31/coronavirus-and-agribusiness/

අප නිතිපතා යාවත්කාලීන වෙනවා. වෙබ් පිටුව සබ්ස්ක්රයිබ් කරන්න, ෆේස්බුක් පිටුව ෆොලෝ කරන්න. අප හා සම්බන්ධ වෙන්න https://evrev.lk/contact-ev-rev/