හුස්ම සමග එන ලෙඩ

කොළඹ වායුවේ අංශු පදාර්ථ PM 2.5 ප්‍රමාණය අද එනම් 2020 අප්‍රියෙල් 5 දින හවස 17 ට අඩුවුනා. අහසත් දහවල් නිල්පාටයි. මේ දර්ශකය මේ වගේ නව ගුණයක් එනම් PM 2.5 අගය 100 (සංවේදී අය සඳහා අනතුරුදායක තත්වය) පහුකරපු දවස් තමයි මේ කොරෝනා ලොක්ඩවුන් තත්වයට ඉස්සෙල්ල තිබුනේ. ඇතැම් දිනවල 150ත් පසුකරලා. එනම් සෑම පුද්ගලයෙකුගේම සිරුරට අහිතකර තත්වයේ.

නමුත් දැන් තියන තත්වය මත සතුටු වෙන්න අපිට කිසිම හේතුවක් නැහැ.. ප්‍රධාන වශයෙන්ම කොළබ වාහන තදබදයත් එක්ක මේක පරණ තත්වෙට එන්න සතියයි යන්නේ. ප්‍රශ්නය දිගහරින්න ඉස්සර බලමු මේ වායු දුෂණය මනින මිම්ම ගැන.

මොකද්ද මේ PM 2.5?

අංශු දූෂණය, අංශු පදාර්ථ (Particular Matter) කියන වචනෙන් තමයි PM කියල ඇවිත් තියෙන්නෙ. මේ අංශු වාතයේ පාවෙන ඝන සහ දියර බිඳිති වල මිශ්‍රණයක්. බොහෝ අංශු නිශ්චිත ප්‍රභවයකින් කෙලින්ම මුදාහැරෙද්දී අනෙක් ඒවා වායුගෝලයේ සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා මගින් නිර්මාණයවෙනවා..

මේ අංශු නොයෙක් ප්‍රමාණවලින් එනවා. විෂ්කම්භය මයික්‍රොමීටර 10 ට වඩා අඩු හෝ සමාන අංශු පෙණහලුවලට ඇතුළු වන තරමට කුඩාවෙනවා, එමෙන්ම මේවා බරපතල සෞඛ්‍ය ගැටලු කරනවා. මයික්‍රොමීටර දහයක් කියන්නේ තනි මිනිස් හිසකෙසක පළලට වඩා අඩුයි.

මේ PM 10 සහ 2.5 අතර ඒවා බොහෝවිට රළු දුහුවිලි අංශු. සාමාන්‍යයෙන් නිර්මාණය වෙන්නෙ මාර්ගවල වාහන ධාවනය නිසා ඇතිවෙන දුහුවිලි ඇවිස්සීම හෝ කර්මාන්තශාලා, වැඩබිම් වල ක්‍රෂින්, එනම් අඹරීම් සහ යන්ත්‍ර ක්‍රියාකාරීත්වයෙන්.

ඊළඟට අපි මේ විශේෂයෙන් කතාකරන ඊටත් වඩා කුඩා සියුම් අංශු (PM2.5). මේවයේ විෂ්කම්භය මයික්‍රොමීටර 2.5 ක් හෝ ඊට වඩා කුඩයි. දැකිය හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් පමණයි. මේවා නිර්මාණය වෙන්නේ මෝටර් වාහන වල ඉන්ධන දහනයේ සිට සියලුම අකාරයේ ඉන්ධන විදුලි බලාගාර, නේවාසික කසළ දැවීම්, ප්ලාස්ටික් දැවීම්, දැව දැවීම, ලැව් ගිනි, කෘෂිකාර්මික පිළිස්සීම් සහ සමහර කාර්මික ක්‍රියාවලීන් ඇතුළුව සියලු වර්ගවල දහනයෙන්.

සෞඛ්‍ය ගැටළු

හෘද හෝ පෙනහළු රෝග ඇති පුද්ගලයින්, වැඩිහිටි වැඩිහිටියන් හා ළමුන් අංශු දූෂණයට නිරාවරණය වීම ඔවුන්ගේ රෝග උත්සන්න වීමට බෙහෙවින් බලපානවා. මරණය පවා සිදුවෙනවා.

කොරෝනා තත්වයට වඩා අප සසල වියයුතු තත්වයක් මෙතන තියනවා. ඒ වායු දුෂණය නිසා ඇතිවෙන මරණ සංඛාව ලක්ෂයකට 37.56 නිසාවෙන්. ඒ 2016 ලංකාවේ දත්ත අනුව, දැන් මීට වඩා වැඩි විය හැකියි අනිවාර්යයෙන්ම.

ඔබ නිරෝගී පුද්ගලයෙකු වුවත්, ඔබ අවට පරිසරය අංශු දූෂණය ඉහළ මට්ටමක පවතී නම් ඔබට තාවකාලික රෝග ලක්ෂණ දැනිය හැකිය. බොහෝ විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් අංශු දූෂණය නිරාවරණය වීම විවිධ සෞඛ්‍ය ගැටළු වලට සම්බන්ධ බව පෙන්වලදීල තියනවා. අප මුලාශ්‍ර කරගත් airnow.gov ආයතනට අනුව මේ ඉන් කිහිපයක්.

  • ඇස්, නාසය සහ උගුර දැවිල්ල, සෙම් කෝපවීම
  • කැස්ස, පපුවේ තද ගතිය සහ හුස්ම හිරවීම
  • පෙනහළු ක්‍රියාකාරිත්වය අඩු කිරීම
  • අක්‍රමවත් හෘද ස්පන්දනය
  • ඇදුම උත්සන්නවීම
  • හෘදයාබාධ
  • හෘද හෝ පෙනහළු රෝග ඇති පුද්ගලයින්ගේ අකල් මරණ

පාරිසරික බලපෑම්

වායු දුෂණය මගින් ඇතිකෙරෙන පාරිසරික ගැටළු ප්‍රශ්නය තවත් උග්‍රකරනවා.

  • දෘශ්‍යතාව (Smog) අඩුකරනවා, මෙය අප මේ වසර මුල වෙනතෙක්ම අත්දැක්ක.
  • ගොඩනැගිලි අවර්ණ කිරීම හා හානි කරනව.
  • ජලයේ ආම්ලිකතාවය වැඩි කිරීම. පෝෂ්‍ය පදාර්ථ ගලනයට හානි කිරීම
  • පසේ ගුණාත්මක බව අඩු කර වනාන්තර හා බෝග වලට හානි කරනවා.
EPA වර්ගීකරණය අනුව PM2.5 නිසා අපට ඇතිවෙන බලපෑම්.

කොළඹ වෙන්නෙ කුමක්ද?

ප්‍රධාන වශයෙන්ම නගරයේ රථවාහන වලින් පිටවෙන විමොචන වායු, එනම් ඉන්ධන දහන දුම. රථවාහන දුමාරයට අමතරව තවත් හේතු තියනවා, කර්මාන්තශාලාවල විමෝචනය, ඩීසල් බලාගාර වල විමෝචනය ආදී වශයෙන්. නමුත් අප මේ සාකච්චාවට බදුන් කෙරෙන කොළඹ නගරයේ වායු දුෂණයට ඉන් වෙන බලපෑම අවමයි.

කොළඹ වායු අංශු දර්ශකය 100 ට වඩා ඉහල ගිය අවස්තාවක්.

එපමනක් නෙමෙයි, ගල් අඟුරු බලාගාර වලින් පිටවෙන විමෝචන, අළු (Fly ash ) පවා මේ තත්වයට බලපාන්න පුළුවන්. නොරොච්චෝලේ පමණක් නොවෙයි ඉන්දියාවෙන් පවා එන. කලින් කිව්වා වගේම ප්‍රධාන සාධකය රථවාහන. ඉන්දියාවේ flyash පිලිබඳ තර්කය බැහැරවෙනවා මේ අවස්ථාවේ ඉන්දියාවේ PM 2.5 දත්ත එක්ක සැසදුවාම.

මොනවද විසඳුම්

මෙය විශාල සහ පුළුල් මාතෘකාවක්. නමුත් ප්‍රධානතම සහ අනිවාර්ය විසඳුම් දිහා බලමු.

ප්‍රධානම ගැටලුවක් අපේ රටේ වාහන වල විමෝචන වායුවේ අඩංගු අංශු ප්‍රමාණය මැනෙන්නේ නැති එක. තිබෙන දුම්පරීක්ශාව අතිශයින් යල් පැනගිය එකක්. අපේ ප්‍රමිතීන් ඇත්තෙම නැති තරම්. අලුතෙන් ගෙනාපු කාබන් බද්දත් ඉවත්කරවන්නයි අපට අවශ්‍ය වුනේ.

එමෙන්ම නගරයට ඇතුලුවෙන වාහන ප්‍රමාණය අවම කලයුතුයි, එනම් පොදු ප්‍රවාහන සේවා සහ පාපැදි වැනි මාධ්‍ය. පොදු ප්‍රවාහන සේවා වුනත් විද්‍යුත් විය යුතුයි.

විමෝචන විරහිත වාහන අනිවාර්ය කොටසක්. හයිබ්‍රිඩ් වාහන මේ ගණයට වැටෙන්නේ නැහැ. ඒ ඇයි කියලා වෙනම ලිපියක් ලියලා තියනවා. සියලු වාහන විද්‍යුත් විය යුතුයි.

ඉතින් අපි දැන් හොඳට හුස්මගන්නවා කියල කිව්වට ඒ තව ටික දවසයි. ආපහු අර PM 2.5 දර්ශකය 150 ට එන දවස මේ ලොක්ඩවුන් ඉවරවෙලා සතියක් තුල එනවා.

ඒ වෙනුවෙන් රාජ්‍ය සහ පුද්ගලික යන දෙපැත්තෙන්ම වියයුතු බොහොමයක් දේවල් තියනවා. රාජ්‍ය අංශය සාමාන්‍යයෙන් මන්දගාමීයි. නමුත් අපි පව්ද්ගලිකව අපේ යුතුකම් කොටස ඉටුකරනවද යන්න අපගෙන්ම අවංකව ඇසියයුතුවෙනවා.

Enjoy the clean colombo sky as of 19th of April 2020