ගෝලීය කම්හල් ලංකාවට?

ජපානය සහ ඇමරිකාව ප්‍රකාශකරනවා ඔවුන්ගේ කර්මාන්තශාලා චීනෙන් ඉවත්කරන්න යෝජනාකරන බව.

ජපානය චීනෙන් යන සමාගම් සඳහා යෙන් බිලියන 220 ක් (රුපියල් බිලියන 390 ක්) සහ වෙනත් රටවලට නිෂ්පාදනය ගෙනයාමට අපේක්ෂා කරන අයට යෙන් බිලියන 23.5 ක් ( රුපියල් බිලියන 42 ක්) සෘජුණයක් විදියට දෙන්න තීරණය කරලා.

ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ලැරී කුඩ්ලෝ කිව්ව චීනයෙන් පිටතට යාමට අවශ්‍ය සෑම ඇමරිකානු සමාගමකටම “තැන් වෙනස්කිරීම සඳහා යන පිරිවැය ගෙවිය යුතු” බව.
මේ මුදල කර්මාන්තශාලා අලුත් තැනකට ගෙනියන්න වන වියදම් පියවන්න.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ආසියානු රටවල් පෙලගැහෙනවා දැනටම.

ලංකාවෙත් අති විශාල ආන්දෝලනයක් තියනවා නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව මේ දවස්වල, වාලච්චේන ඉඳන් ගෙවතු වගාව දක්වාම. යම් නිෂ්පාදනයක් සාර්ථක ආර්ථික ඉලක්ක කරා යාමේදී සැලකියයුතු කරුණු බොහොමයක්. ගෝලීය කර්මාන්ත නිෂ්පාදනයට එක් පෑන් ඉරක්වත් ඇදීමට පෙරම එහි ආර්ථික වටිනාකම, සාර්ථකත්වය පිලිබඳ අවධානය දෙනවා.

ගෝලීය නිෂ්පාදනය දැන් පවතින්නේ අපි හිඟුරාන සීනි, කැළණි ටයර්, උපාලි මැස්දා, වාලච්චේන කඩදාසි පැවතිච්ච කාලේ නෙමෙයි. ඒක වෙනම කතාවක්. නමුත් තවමත් අප වැඩිපුර කරන්නේ වංසෙ කබල් ගෑම. එමෙන්ම ගෙවතු වගාව වැනි දේවලින් රටක ආර්ථිකයට වෙන දායකත්වය සැලකිය නොහැකි තරම්.

දේශපාලකයන්ට බැන්නට විතරක් වැඩක් නැහැ රට පරිහානියට යාමට. අපේ රටට නිෂ්පාදන ආර්ථිකයකින් දියුණුවෙන්න අමාරු හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා.
මේ ඉන් කිහිපයක්. විසඳුම් දීම සහ මේ තියන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම රජයේ වගකීමක්.
මේ කතාකරන්නේ රටේ පරිභෝජනයට අවශ්‍ය දේ නිෂ්පාදනය නොවෙයි, ඇපල්, පැනසොනික්, ටොයෝටා, ගූගල්, මයික්‍රොසොෆ්ට්, ටෙස්ලා, වැනි ගෝලීය නිෂ්පාදන ගැන.

  • දුෂණය, දේශපාලනීකරණය සහ නිලධාරීවාදය.
  • රටේ පවතින ව්‍යාපාර විරෝධී කම්කරු නීති 
  • පවතින අධික ප්‍රසිද්ධ නිවාඩු ප්‍රමාණය, 365 න් 116 ක්.
  • ඵලදායීතාවට සහ කාර්යක්ෂමතාවට වඩා සේවාකලයට සහ පැමිණීමට මුල්තැන දීම
  • බලශක්ති හිඟය, ජනනය සුනිත්‍ය නොවීම
  • මුලික සහ උසස් අධ්‍යාපන ක්‍රම සහ තාක්ෂනික අධ්‍යාපනය යල්පැනගිය ඒවා වීම
  • අධ්‍යාපනයට වඩා ස්වයන්ව්‍යාපර වලට දරුවන් උනන්දු කරවීම. (ත්‍රී වීල්, බස්, ලොරි, සිල්ලර සහ ජංගම වෙළඳාම ඇතුළුව)
  • ඉංග්‍රීසි භාෂාව කොළඹට පමණක් සීමා වීම
    • අන්තර්ජාල දැනුම සමාජ මාධ්‍ය වලට පමණක් සීමාවීම.
  • පොදු ප්‍රවාහනය අතිශයින් දුර්වලවීම
  • වර්ගවාදය සහ ආගම්වාදය. බෙදීම සහ වෙන්කිරීම
  • බහුතරය තුල විද්‍යාවට වඩා මිත්‍යාවට ඇති නැඹුරුව. ගුරුවරුන් පවා මිත්‍යාවට මුල්තැන දීම.

එකවර නොහැකිවුවත් මේ සියල්ලට අවශ්‍යය පදනම වසරක් තුල දැමිය හැකිවෙයි. පටන්ගන්නත් කොරෝනා හොඳ අවස්ථාවක්. කොරෝනා ඉවරවෙනකන් හිටියොත් පරක්කු වැඩිවෙයි, බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් වුවත් අපට වඩා බොහෝ ඉදිරියෙන් නිසා. ඉන්දියාවත් ජාති ආගම් උගුලේ හිරවෙලා හිටියට සම්පත් වැඩියි.

මේ ස්වර්ණමය අවස්ථාවක්. පෝට් සිටි, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ජාලය, විදුලි දුම්රිය ව්‍යාපෘතිය හා සමාන දේ මේ ඉලක්කයේ අනිවාර්ය අමුද්‍රව්‍ය වෙයි.

යාවත්කාලීන කිරීමක්: මැයි දහවෙනිදා ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරපු අන්දමට ඇමරිකානු කර්මාන්තශාලා විසිහතක් ඉන්දුනීසියාවට යනවා චීනෙන්. මෙන්න ලින්ක් එක, ඒ වෙනුවෙන් හෙක්ටයාර 4000ක ඉඩම් වෙන් කරලා ඉන්දුනීසියාව.